Message by the Director




Director

උසස් පෙළ සමත් වුවත් අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස විශ්විවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට තිබූ අවස්ථාව අහිමි වීමෙන් බොඳ වූ සිහිනය නැවත සැබෑ කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය පවත්වාගෙන යන බාහිර උපාධි පාඨමාලා තුළින් ඔබට දැන් අවස්ථාව විවර වී තිබේ.

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය, කළමනාකරණ ක්ෂේත්‍රයේ මෙන්ම කළමනාකරණ අධ්‍යයන බාහිර උපාධි පාඨමාලා පවත්වාගෙන යාමේ ද පුරෝගාමීන් වන අතර වර්තමානයේදී එම ක්ෂේත්‍රයේ කිරුළ දරා සිටී. එම පීඨය යටතේ අප විසින් බාහිර උපාධි පාඨමාලා තුනක් පවත්වාගෙන යන අතර ඒවා නම්, විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව, විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව සහ වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව වේ.

එසේම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මගින් පවත්වාගෙන යන බාහිර උපාධි පාඨමාලා සඳහා ඇතුළත් වීමට ද ඔබට අවස්ථාව උදා වී තිබේ. අපේක්ෂකයන් සඳහා එම පීඨය මගින් මෙතෙක් පවත්වාගෙන ගිය ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවට අමතරව සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සහ ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව ආදී වශයෙන් විවිධ විෂය ධාරාවන්ගෙන් සමන්විත උපාධි පාඨමාලා තුනක් හැදෑරීමට දැන් ඔබට අවස්ථාව උදා වී තිබේ.

අප ඒකකය මගින් පවත්වාගෙන යන සියලුම බාහිර උපාධි පාඨමාලා සඳහා විශාල ඉල්ලුමක් පවතී. එහෙත් ඒවායේ ගුණත්වය ආරක්ෂා කර ගැනීම සඳහා එකී පාඨමාලාවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීමට සිදු වී තිබේ.

සේවා නියුක්ත කළ හැකි ආකාරයට සමාජයට වැඩදායී උපාධිධාරීන් බිහි කිරීම විසි එක් වන සියවසේ විශ්වවිද්‍යාල මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගය වේ. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දීම පිණිස උපාධි පාඨමාලාවල අදාළත්වය හා ගුණත්වය ඉහළ නැංවීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනස්කම් රැසක් මෑතකදී සිදු කර තිබේ. ඊට සමගාමීව යමින් අප ඒකකය මගින් පවත්වාගෙන යනු ලැබූ බාහිර උපාධි පාඨමාලා ද නූතන සමාජයට ගැලපෙන පරිදි සංශෝධනයන්ට ලක් කොට නව මුහුණුවරකින් හඳුන්වා දී ඇත.

නූතන සමාජයේ පවතින දුරස්ථ අධ්‍යාපනය සඳහා වූ නැඹුරුවට විසඳුම් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ ඔස්සේ බිහි වූ අපගේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය බාහිර උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වන එකම ඒකකය වන අතර බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේ සිට බාහිර උපාධි ප්‍රදානෝත්සවය දක්වා වූ සියලුම කටයුතු මෙහෙවීමේ වගකීම අප ඒකකය සතුය.

මෙතෙක් පැවති ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වර්තමානය වන විට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් බවට පරිවර්ථනය වී තිබෙන අතර අධ්‍යයන කටයුතු සඳහා සිසුන්ට අවශ්‍ය මග පෙන්වීම හා සහයෝගය සැපයීම බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකයේ ප්‍රමුඛ කාර්යයයි.

 

අඩු පිරිවැයකින්, කෙටි කාලයක් තුළ, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පිළිගත් උපාධියක් ලබා ගැනීමට අප ඔබට ලබා දී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අප ඒකකය හා එක් වන මෙන් ඔබට ආරාධනා කරමි.

 

මහාචාර්ය E. දයාරත්න
අධ්‍යක්‍ෂ
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය